Friday, September 28, 2012

යම්කිසි රාමුවක් තුල...........



උසස්පෙළ පන්තියේ අපේ පන්ති භාරව හිටියේ තිලකරත්න සර්... මේ කියන දවස් වල මාතෘකාව චලිතය පිළිබඳ නිව්ටන් ගේ නියම තුන. ඔය ප්‍රධාන මාතෘකාවට අමතරව, නියම තුනේ චලිතය, නිව්ටන්ට හැර නියම තුනක් තිබ්බ අපි දන්න කියන අය ගැන උප මාතෘකා තිබ්බා වැඩක් නැති වෙලාවට කතා කරන්න. නමුත් මම අද කියන දේ ප්‍රධාන මාතෘකාව සම්බන්ධ නිසා ඒ ගැන විතරක් කතා කරමු.

ඉතින් අපි නිව්ටන් ගේ නියම තුන ගැන ඉගෙන ගත්තා.... යම් කිසි වස්තුවක් මත බලයක් නොයොදනතාක් කල් එම වස්තුව එක්කෝ නිශ්චලයි, එහෙමත් නැත්නම් සරල රේඛීයව ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරනවා. දෙවෙනි එක සාමන්‍යයෙන් F=ma කියන සුත්‍රයෙන් දැක්වෙනවා. තුන්වෙනි එක තමයි... සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් තියන බව. Every action has a reaction කියලා නිතර භාවිතා වෙන්නේ ඒක් තමයි.

ඉතින් මේවා ඉගෙනගෙන, අපි ඉගෙන ගත්තා මේ නියම හැම වෙලේම සත්‍ය නොවන බව, ඒවා උදාහරණ සහිතව ඉගෙනගත්තට දැන් නම් මතක නැහැ. ඊට පස්සේ චලිතය පිළිබඳ ඉදිරිපත් වෙලා තිබ්බ විවිධ මතවාද මේ නිව්ටන් ගේ නියම තුන ආශ්‍රයෙන් සනාථ කරන්න හෝ බිඳ දමන්න පුළුවන්ද කියලා සාකච්ඡා කලා. ඔන්න ඔතනදි තමා ප්‍රශ්නේ මතුවුනේ. මේ 'හැම වෙලාවෙම සත්‍ය නොවන නියම තුනක්' මගින් කොහොමද අනිත් මතවාද පරීක්ෂණයට භාජනය කරන්නේ කියලා. මං මේ ප්‍රශ්නේ අහපුවහම, සර් පොඩ්ඩක් නතර වුනා. පොඩි හිනාවක් දාල එහෙම කිව්වේ අදටත් මගේ හිතේ තදින් කාවැදිලා තියන අදහසක්.

ඒක කියන්න කලින්....

සමාන්‍යයෙන් එක එක මිනිස්සුන් ගේ එක එක ප්‍රකාශ අනුව ජීවත් වෙන්න බැහැ කියලා ඒවා අවඥාවෙන් බැහැර කරන්න පුරුදු වෙලා හිටියෙ මම. බොහොමයක් මිනිස්සු, තමන්ගේ ජීවිත පිළිබඳ තීරණ වලදි, ඒක එක ප්‍රසිද්ධ මිනිස්සු කරලා තියන ප්‍රකාශයන් බොහොම උජාරුවෙන් දක්වනවා. ලඟදි මට මේ ගැන මතක් උනේ බීට්ල් ගේ අකුරු කියන බ්ලොග් එකට ගියාම... එකෙ තිබ්බ ජීවිතේ ගැටගහන මන්තර කියලා පෝස්ට් එකක්. මුලින්ම ඕක බලපුවහම මට හිතුනේ විකාර කියලා... කාටද පුළුවන් සින්දු වල කියලා තියන විදිහට ජීවිතේට මූණ දෙන්න... මං ඉතින් ඕකෙ මෝඩ කමෙන්ට් එකකුත් දාල ඇවිත් ඔහේ හිටියා.

සමහර වෙලාවට අපි හඹායන දැනුම, අපි එවාගෙන් ලබාගන්න අවබෝධය, ඤාණය, යම් යම් මතවාද වෙනුවෙන් පෙනී සිටිමින් අපි කරන තර්ක විතර්ක සමහර වෙලාවට අපිටම බරක් වෙන වෙලාවල් තියනා නේද කියලා හිතුනා. මහා වාද විවාද කරමින් ලෝකයෙම තියන ප්‍රශ්න වලට විසඳුම් අපි ලඟ තියනවා වගේ තර්ක කරන අපි සමහර වෙලාවට කෑම වල රහ ගුණ අඩුයි කියලා මූණ පුළුටුකරගෙන කෑම කන, කොට්ට දෙකක්වත් නැතිව නින්ද යන්නේ නැහැ කියල චුරු චුරු ගාන වෙලාවලුත් තියනවා නේද?
ඔය දෙකෙන් එකක්වත් වැරදියි කියනවා නෙමෙයි. මතවාදයන් විදිහට අපි කාගෙත් හොඳ අදහස් තියනවා. ඒ වගේම හරිම බොළඳයි කියලා හිතෙන පුද්ගාලනුබද්ධ හැසිරීමුත් අපි අතරම තියනවා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවංකවම යමක් කරන්න කැමැත්තෙන් හිටි කීදෙනෙක් එදා වැස්ස නිසා ගෙදර ඉන්න ඇතිද? ඇත්තටම එක වෙනුවෙන් කැපවීමක් තියන අය නම් වැස්ස බලන්නේ නැතුව එනවා කියලා තර්කයක් ගේන්න පුළුවන්. එ වගේම ඔතන වැස්සේ තෙමි තෙමි හිටි අය ඔක්කොම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවබෝධයෙන් එතනට ආපු පිරිසක්ද? නමුත් මේ දොගොල්ලොම අපි මේකට එකතු කරගන්න ඕනෙ කියන අදහස වැරදි නැහැ නේද?

තිලකරත්න සර් කිව්වෙ මෙන්න මේ වගේ දෙයක්....

"එක්තරා රාමුවක් තුල යම් යම් දේවල් සත්‍යයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපි දන්න හැම සත්‍යයක්ම හැම තැනදිම අදාල වෙනවා කියලා හිතුවොත් කිසිදෙයක් හරියට කරන්න අපිට බැරිවෙනවා. අපි දන්න හැම දේම පරම සත්‍යයයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද අපිට? ඒ වගේ සත්‍යයන් කියලා හිතන් හිටි දේවල් කොච්චරක් පස්සේ පරම සත්‍යයන් නෙවෙයි කියලා අපිට අවබෝධවෙලා ඇතිද? එහෙම කියලා අර කලින් සත්‍යය සම්පූර්ණ අසත්‍යයක් වෙනවද? පොඩි කාලේ ලෝකෙ ඉන්න හොඳම ගැහැණිය තමන්ගේ අම්මා කියලා කෙනෙක් හිතන් ඉන්නවා, ඒ කාලයෙදි ඒක පරම සත්‍යයක් වගේ දැනෙන්නේ.. නමුත් වැඩිහිටි වෙනකොට අපිට තේරෙනවා ඒක එහෙමත්ම නෙමෙයි කියලා, එ වගේම මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස්. ඒත් වැඩිහිටි වූ පසුව උනත් යම්කිසි පුද්ගලික රාමුවක් ඇතුලේ මේක බොහෝ මිනිස්සුන්ට සත්‍යයක් නේද?"

ඉතින් යම්කිසි රාමුවක් තුල...........

මේක ජීවිතේ මූණදෙන සිදුවීම් පොඩ්ඩක් හරි තේරුම් ගන්න වගේම, හොඳ නිදහසට කාරණයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක නිදහසට කාරණයක් විදිහට පාවිච්චි කරනවා නම්, ඒකත් යම්කිසි රාමුවක් තුල කලොත් තමා හොඳ......

Thursday, September 27, 2012

මම...

පළවෙනි පෝස්ට් එක විශේෂ එකක් වෙන්න ඕනේ කියලා අන්තිමේ මොනවත්ම ලියන්නෙ නැතුව නිකං ඉන්නවට වඩා හොඳයි මෙහෙම හරි පටන් ගන්න එක කියලා ඔන්න පටන්ගත්තා. මම ගැන කියනවා නම්, මම කලින් ආත්මේ ඇනෝ කෙනෙක්... ඒක හරියට අර ගන්ධබ්බ අවධිය වගේ තමයි.... මොකක් හරි හරිහමන් ශරීරයක් අහු වෙනකන් ඔහේ අනිත් අයගේ බ්ලොග් වල රවුම් ගහ ගහ හිටියා. ඇත්තටම මටම කියලා බ්ලොග් එකක් ඕනෙ නෑ කියලම තමයි මට හිතුනේ.... මගේ අදහස් සිතුවිලි බොහෝමයක් තැන් තැන් වල සටහන් වෙලා තියනවා මම දැක්කා. ඒ උනත් ඒවා මගේම නෙවෙයිනේ කියලත් ඒ එක්කම හිතුනා. කොහොම උනත් දැනට මගේ වැඩි වෙලාව ගතකරන්න හිතන් ඉන්නේ අනිත් අයගේ බ්ලොග් බලන්න තමයි. එකක් තමයි, මගේ බ්ලොග් එකට වක්‍ර ප්‍රමෝටින් පාරක් දීගන්න එක. අනිත් එක ඉතින් ඇත්තටම මම කැමති අනිත් අයගේ කුණුගොඩවල් අවුස්සන්න. ඒ කියන්නේ අනිත් අයගේ බ්ලොග් කුණුගොඩවල් ද කියලා අහයි දැන්. ඇයි කුණු කියන්නේ නරක දෙයක්ද?

ඕනෙම තැනකට ආවහම තමන්ව හඳුන්වලා දෙන්න ඕනෙනේ. ඉතින් මගේ මේ ජීවිතයේ නම තිසර. මම ගැන මම ම කියන එක සුදුසු නැහැ කියලා හිතෙන නිසා, මම ලඟදි සමීක්ෂණ කණ්ඩායමක් යොදවලා මා ගැන කරපු සමීක්ෂණයකදි ලැබුණු උත්තර ටිකක් දාන්නම්.

අම්මා: අපේ පුතා කියන්නේ ඉතින් අපේ පවුලට ඉන්න එකම ..... (ලැබුනු පිළිතුර ඉතාම දීර්ඝ බැවින්, අකමැත්තෙන් වුවත් කෙටි කිරීමට සිදුවිය )

තාත්තා: හ්ම්ම්ම්....

අක්කා: අපෝ එයාද.... මහ නපුරා...

නංගී: අක්ක ඔහොම කිව්වට අයිය හොඳ වෙලාවලුත් තියනවා.

බිරිඳ: (කිසිවක් කියා නැත )

පුතා: අපේ තාත්තා මට හරිම ආදරෙයි... හවසට ගෙදර එනකොට මට චොකලට් අරන් එනවා. මගේ තාත්තට මමත් ගොඩාක් ආදරෙයි. ඔන්න ආච්චි මං කිවා, මට චොක්ලට් ඕනේ හොඳේ.

චබ්බා : එක දවසක් නිකං ආසාවට 'ඉජුහ්' කියල කතාකරලා නැහැ....

අල්ලපු ගෙදර ආනන්ද මාමා: රට යන්න ඉස්සෙල්ල නම් ඉතින් කියන්න තරං වරදක් තිබ්බේ නෑ. එක එක රටවල් වල ගියාට පස්සෙ ඉතින් වෙනස් වෙලාද කියන්න අපි දන්නෙ නෑනෙ.

(නම කීමට අකමැතියි ): හ්ම්ම්ම්... එයා හරී හොඳයි... හ්ම්ම්ම්ම් ... ඒත් දැන් ඒ ඔක්කොම අතීතයට එකතුවෙලා ඉවරයි. ඒ නිසා ඒවා ගැන කතා කරන වැඩක් නැහැ.

චමින්දයා: ඇයි කේස් එකක් ද? මම නං ඌව ඇහටවත් දැක්කේ නැහැ දැන් මාස ගාණකින්. මහත්තයලා සීඅයිඩී ද?

මම: අපේ නෝනගෙන් තමයි ඉතින් ඕක අහන්න ඕනේ.... හිහ් හිහ් හිහ්

ඔන්න ඉතිං දැන් හරිනේ.... එහෙනම් ඔන්න පටන්ගමු....