Wednesday, October 24, 2012

මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි...

පුදන කොටම මම කිව්වනෙ, මගේ බ්ලොග් එක ලියනවට වඩා අනිත් අයගේ බ්ලොග් වල කරක් ගහන එකට මම කැමතියි කියලා. මේ වෙනකොට මම රැකියාව කරන තැනින් පැය දෙකක් මට වෙන්කරල දීලා තියෙන්නේ බ්ලොග් කියවන්නයි, කොමෙන්ට් කරන්නයි. අඹ ගහ යට සින්ඩියෙන් තමයි මම බ්ලොග් වලට යන්නෙ එන්නේ... ඉතින් කාට හරි මං ලව්වා බ්ලොග් එකක් කියවගන්න ඕනෙ නං එතනට තමයි දාන්න ඕනේ... මේ වෙනකොට මම නොවරදවා යන බ්ලොග් කීපයක් තියනවා...  එව්වා මම නම් කොරන්න යන්නේ නෑ, මොකද කොහෙද යන හාල් කෑල්ලක් ඇවිත් මෙහෙම කියනකොට ඒක ඒ බ්ලොග් ලියන පිරිසට අගෞරවයක් වෙන්න පුළුවන් නිසා. හරියට නිකං රෝසි ලෝක විවාහක රූ රැජින වෙලා ආවට පස්සේ ගමේ අවුරුදු කුමාරි තරඟෙන් දිනුවා කියන්නා වගේ.

හැබැයි එකෙක්ගේ නම නම් කියන්නම වෙනවා... මාරයා කියන එකාගේ යන්තමින් පේන මූණ මම මතක තියාගෙන ඉන්නේ මගදි දැක්කොත් අල්ලගෙන නෙලන්න. ඌ කොමෙන්ට් වලට තන්කුයි කියන්නේවත් නැහැ... එහෙම බැහැනේ නේද මං අහන්නේ. ඌ ලියන්නයි, අපි කියවන්නයි, යකෝ ඌටම ගිය ලෝකෙ එහෙනං.... ඌට තේරෙන්නෙ නැද්ද මන්දා දාන හැම කොමෙන්ට් එකකටම අඩුම ගානේ තන්කුයි කිව්වහම උගේ කොමෙන්ට් ගාණ දෙගුණ වෙනවා කියලා... සමහර විට අපි වගේ නවක හාල් කෑලි ඔලට ඕක වැදගත් උනාට මාරයා වගේ ප්‍රවීන උන්ට ඕවයෙ ගාණක් නැතුවැති.... හරියට ඔය.. ප්‍රසංග වලට යන්නේ නැති ප්‍රබුද්ධ ගායක ගායිකාවෝ ඉන්නේ...

පහුගිය දවස් වල මම ඔය බ්ලොග් අයියලගේ අක්කලගේ පරණ පෝස්ට් පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉස්ටඩි කොලා... මොකද අපි වගේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස ප්‍රවීනයන්ගෙන් ඉගෙන ගන්න එපායැ. හප්පා, මේ කපේදි නිම කොරන්න බැරි වියායාමයක් ඒක... ඒ මදිවට හැම එකකින්ම තව පෝස්ට් වලට ලින්ක්, මාතලන්ගේ 18+ පෝස්ට් එකකින් පටන්ගත්තහම, නවතින්නේ සූටි නංගි කෙනෙක් කඳුලු වක්කර වක්කර ලිව්ව පෝස්ට් එකකින්... එතනින් නවතින්නේ වෙන ලින්ක් නැතුවට නෙමෙයි මටත් ඇඬිලා, නෝනා ඇවිත් මට කතන්දරයක් කියලා ඇඳට එක්කන් යන නිසා.

ලංකාවෙ උසස් අධ්‍යාපනේට 6% හම්බවෙච්ච දවසක, විශ්වවිද්‍යාල වල විෂයක් පටන් ගන්න ඕනේ බ්ලොග් ගැන අධ්‍යයනය කරන්න... ඒ තරම් දැනුං කන්දරාවක්, අත්දැකීම් කන්දරාවක් බ්ලොග් ඇතුලේ තියෙන්නේ... කොමෙන්ට් අධ්‍යයනය කරන එක වෙනම විෂයක් විදියට... මේ හේතුව නිසාවත් සියලුම බ්ලොග්කරුවන්ගේ සහාය මේ අරගලයට ලැබෙන්න ඕනේ... හුටා.... අරගලය දැන් ඉවරයිලු, උණු උණු නිව්ස් එක ආච්චීගෙන්. ලංකාවේ මෑත කාලෙදි ඇති වූ වැදගත්ම සමාජ අරගලය කියලා කියන්නලු... වෙන කවුද ආච්චිම තමයි.

බ්ලොග් එකක් අයිති බ්ලොග්කරුවෙක් විදිහට, මට දැන් ගමේ ලා පිළිගැනීමක් තියනවා කියලා කියන්නේ නිහතමානීව... නිහතමානීකම දන්නෙ නැත්නම් රටපුරාම තියෙන මහින්ද මහත්තයගේ පෝස්ටර් බලලා ඉගෙනගන්න... ඉතින් මම උදේට එක එක්කෙනාට කඩේ යනකොට, හම්බවෙන උදවිය මෙහෙම කියනවා...

"මල්ලියේ.. ලියහංකෝ අපේ ෆොන්සේකා මහත්තයා ගැන"

 "කොලුවෝ, ලියාපංකෝ බුද්ධාගම ගැන"

 "තිසර මල්ලී, අනේ ලියන්නකෝ හොලිවුඩ් නළුවෝ ගැන, ඔයත් ටිකක් අර මැරිච්ච මයිකල් ක්ලාක් ඩන්කන් වගේ"

"කවුද මල්ලී අර කොමුපිළි ගැන ලිව්වේ, අනේ එයා හරී එඩියුකේටඩ් කෙනෙක් වගේ"

"අයියේ, ඔයා ලියන්න 'ආදරයේ විරහ වේදනාව නොහොත් පූජාගේ ගේ කෲර අත්හැරයාම' කියලා ලිපියක්, මම දෙන්නම් විස්තර"

"යකෝ, ලියපංකෝ කවියක් දෙකක්"

"තිසර අයියේ... ඉහි ඉහි, අ.. අනේ... ඉහි ඉහි.. මගේ කඳුලු වලට... ඉහි ඉහි...හූ හූ.. නැද්ද ඔයාගේ බ්ලොග් එකේවත් ඉඩක්... ඉහි හූ හූ... "

"හු**, තොගේ පාණ්ඩිත්‍ය එක එකාට පෙන්නන්න යන්නේ නැතුව, වරෙන් වෙලා තියන වෙලාවක සෙට් වෙන්න"

"තිසා... ලස්සන සින්දුවක් ගැන ලියන්නකෝ... අර 'හිමි නැති පෙමකට' වගේ"

මම ඔය හැමෝටම හිනාවෙලා මොනවා හරි හිත හැදෙන්න කියලා මාරු වෙනවා. හැබැ‍යි සමහර වෙලාවට නම් මම තදින් ඉන්නවා, මටත් කියලා ප්‍රතිපත්තියක්, වෘත්තීමය ගරුත්වයක් කියලා එකක් තියනවනේ. ඉතිං බ්ලොග්කරුවෙක් වීම නිසා මට පැවරෙන සමාජ වගකීම බ්ලොග්කරුවන් වෙන ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනයැ... හැමෝම ඉෂ්ඨ කොරන්නේ ඒ සමාජ වගකීම නොවැ...

ඉතිං අතිමහත් වූ මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි, මම මෙසේ කියමි.... මම ලියමි... තොපලාගේ බ්ලොග් වලට පැමිණ ලියමි... නිරතුරු ලියමි... හම යන තුරු ලියමි...  ඉඳහිට මාගේ බ්ලොගයේද මොනවා හෝ ලියමි.

Thursday, October 11, 2012

පයිනල් එක පිළිබඳ ආච්චිගේ මතය සහ මගේ වල්බූතය



හිරු කොහොම කිව්වත් හිරුට වැඩිය ක්‍රිකට් සහ දේශපාලනය ගැන දැනුම් සම්භාරයක් ඇති අපේ ආච්චී නම් කිව්වේ පැරදුනේ මහින්ද මහත්තයා ආ නිසාම බවය. ආච්චිගේ ෆේස්බුක් එකවුන්ට් එක සීයාට මලපැනපු වෙලාවක ටර්මිනේට් කල නිසාත් (මල් කේස් එකක්)  නිර්නාමික මරණ තර්ජන හමුවේ  දැන් ආච්චී "බොරු දත්සැට් එක" බ්ලොග් අඩවිය නොලියන නිසාත්, මේ දේවල් වෙන කොහෙන් හෝ අහුලාගත් අදහස් ලෙස බැහැර කරන්නට බැරිය. මහින්ද මහත්තයා මුලින්ම තිරයේ දර්ශනය වූ අවස්ථාවේ ආච්චි "තුහ්, නොදකින්.. මූණේ හැටි විතරක්" කියූ අතර...  කටින් නොකියවුනත් මටත් හිතුනේ ඒ ටිකම බව අකමැත්තෙන් වුවද ලියන්නේ ආච්චිට කරන ගෞරවයක් ලෙසින්ය.

හැම දේටම උපදේසකයන් සිටින මහින්ද මහත්තයාට, පුක් මූණක් දමාගෙන ටීවී එකේ පෙනී සිටීම සුදුසු නැතිබව කියන්නට උපදේසකයෙක් පත්කර නැති එක පිළිබඳව මට මුලු පාර්ලිමේන්තුව එක්කම මල පැන්නේය. වහාම එස්.එම්.එස් එකක් මගින් මම මේ ගැන එතුමාට දැන්වූ පසු, කැමරාවට අත වැනීමට තරම් එතුමා නිහතමානීවිය. මම ආච්චීගේ අවදානය එයට යොමු කලේ... "බලන්නකෝ ආච්චියේ, අතවනන්නේ ඔය දැන්, මුලු ලෝකෙටම පේනවනේ අනේ ඉතින්" කියමින්ය. "ඔව් ඔය වනන්නේ.... බලමුකෝ වනලා කරන හරිය.... අත වැනුවට මූනේ හිනා පොදක් තියනවද?... බලපංකෝ ගල් මූසලයා වගේ වනන හැටි... විනාසයි, දැං මොනා බලන්නද තෝත් ගිහින් බුදියගං" සාමාන්‍යයෙන් සිල්ගත් දවසට විතරක් පාවිච්චිකරන වාග් විලාසයෙන් ආච්චී කෑගසනු දුටු විට මට ඇතිවූ බය නිසාම මම ගිහින් බුදියගතිමි.

උදේම ආච්චීගේ හිනාකට දුටුවිට මට සිතුනේ අපි මැච් එක දිනා ඇතිබවය. මම දෙවරක් නොසිතාම මහින්ද මහත්තයා ඇමතීමි. "සර්, ඔන්න මේ සැරේ ඔක්කොම මිත්‍යා විශ්වාසකරයොන්ගේ කටවල් වැහෙයි, විරුද්ධ පක්සේ එවුන්ටත් දැන් ඉතින් කියන්න දෙයක් නෑනේ.... මැච් එක දිනුවේ සර් අතවනපු නිසා බව දැන් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්නවනේ... සර්ට දැන් හරියට ක්‍රීඩා උස්සව වලට ලෝකෙ වටෙන්ම ආරාදනා ලැබෙයි" මම කියාගෙන ගියේ.. මොකක් හරි උපදේසක තනතුරක් ලැබෙනවානම් ඒ සඳහා ඇමක් දැමිය යුතු හොඳම වෙලාව මෙය යැයි හිතුනු බැවිනි. මහින්ද මහත්තයා කියූ දේවල් මම මෙතන සඳහන් නොකරන්නේ සියලුම රාජතාන්ත්‍රික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම බටහිර කුමණ්ත්‍රණකරුවන්ට වාසිදායක විය හැකි බැවිනි. එතුමා කරුණාවෙන් කරුණු පහදාදුන් බව කීම ප්‍රමාණවත්ය.

මේ දවස් වල හැමෝම මේ ගැන ලියන නිසා, මාත් මේ ගැන ලිවීම අනවශ්‍ය බව හිතුනත්... මහින්ද මහත්තයාට කතා කිරීමෙන් පසුව මා නැවත පියවි සිහියට පැමිණ අන්දමන්ද වී සිටින අවස්තාවේ කලින් දවසේ රෑ සිදුවූ දෙයක් මගේ මතකයට නැගුණි. මේජර්තුමාට, දුමින්ද අයියාට සිදු වුනා වගේ, මටත් මේක හරියටම මෙහෙම උනාද කියා තහවුරු කල හැකි ක්‍රමයක් නැත. එක්කෝ මට කතා කලේ නාථ දෙයියෝ නොවේය. නැත්නම්, මට කිසිවක් මතක නැත. ඒත් මෙන්න මේ වගේ වල්බූතයක් මගේ හිතට ආවේ කොහොමද කියා ආච්චීට වත් පැහැදිලි කල නොහැකි විය.

--------

නාථ දෙවියෝ පැමින මා අමතයි. "දරුව... දරුව". මම ඇහැරෙන පාටක්වත් නැත.... "යකෝ නැගිටපිය පරයා, තොගෙ අම්මට...." ඉතුරු ටික කියන්න කලින් මම දඩස් ගා ඇහැරුනෙමි. "සර්?" මහත්තුරුන්ට, දෙවියන්ට මෙන් සැලකීමට මම පුරුදු වී සිටියත් ඇත්තටම දෙවියන්ට කොහොම කතා කලයුතුදැයි මම දැන සිටියේ නැත. නමුත් දෙවියෝ අමනාපයක් නොපෙන්වූ නිස මම දිගටම 'සර්' කියා ඇමතීමි. "සර්, මොකද මේ අවේලාවේ?..." බැරෑරුම් මුහුණක් මවාගෙන සිටි දෙවියෝ කලකිරීමෙන් මෙන් මෙසේ කීය. "ටීම් එකෙ කැපිල්ලක් යනවා, අපේ කොල්ලෙකුට". අපිට වෙන ටීම් එකක් නැති නිසා මේ කතාකරන්නේ ක්‍රිකට් ටීම් එක ගැන බව මට වැටහුනි. ඒත් මගේ මුහුණේ අපබ්‍රංසය දුටු දෙවියෝම සිද්ධිය පැහැදිලි කලෝය.

"කීර්ති බංඩාර කොලුවව කපලා..." දෙවියෝ කණස්සල්ලෙන් කියති. "ඒ වෙනුවට අරං තියෙන්නේ අර ඇට පැහිලාවත් නැති මරක්කල කොලුවා. කීර්ති කොලුවා, අපේ ජාතිය විනාස කරන්න බලං ඉන්න 'අරුන්ට' සෙමි ෆයිනල් එකේ ඇඹරෙන්න පන්දු දාපු හින්දා අපේම දේසද්‍රෝහියෝ අටවපු කුමන්ත්‍රණයක් මේක. ඕකට සම්බන්ද හැම එකාටම මම දඬුවම් කොරනවා... කොච්චර ලොක්කෙක් උනත් මම අරින්නේ නෑ... අරිනවා හැම එකාටම....ලොක්කට උනත් එච්චරයි... බලාපියව් මම කොරන දේ...." ගිගිරූ දෙවියෝ අන්තරස්දාන වූහ.

---------

නාථ දෙවියෝ, මාලිංගගෙන් පටං අරන්, මහේලගෙන් නොනැවතී මහින්ද මහත්තයාවත් පේලියට තියා ඇර ඇති බව දැනගත් පසුව, මම මේ විස්තරය ආච්චීට කියාසිටියේ අපි පැරදුනේ මහින්ද මහත්තයා නිසා නොවන බව ඇයට පහදාදෙන්නටය. එතුමාද මේ සිද්ධියේදී අසරණයෙකු බව පෙන්වීමටය. ඒ වගේම මේ කතාව වල්බූත මට්ටමේ පැවතුනත්, තමන්ගේ මතයේම එල්ලී නොසිට යමක් කමක් නුවනින් විමසාබලා සත්‍ය බව වැටහේ නම් පිලිගැනීම තරම් නිහතමානී බවක් ආච්චි වෙත ඇති බව දන්නා නිසාය. "ඈහ් බොල කොල්ලෝ... තෝත් මහ මිත්‍යා දෘස්ටිකයෙක් වෙලානෙ... දෙයියො කොහොමද බොල ක්‍රිකට් මැච් දිනවන්නෙයි පරාද කරවන්නෙයි?" කියා ආච්චී තර්කයක් ගෙනා බැවින් මට අකුලාගන්නට සිදුවුනි. දැන් ඉතින් මෙය විසඳා ගැනීමට මට ඉතිරිව තිබූ එකම මාර්ගය එදා රැයේ සිදුවූවා යැයි මට හිතෙන වල්බූතයේ අවසාන ජවනිකාවය.

---------

දෙවියන්ගේ කෑ ගැසීමට බය වූ මට, මා ලඟ නිදා සිටි බිරිඳගේ ඕනෑ නැති තැනක් නොදැනුවත්වම ඇල්ලුනි. බිරිඳ නිදිමතේම මා දෙසට හැරී තවත් මට තුරුළු විය. බයටම මමත් බිරිඳට තුරුළු වී නිදාගත්තෙමි. ටික වේලාවකට පසුව මාව අහකට තල්ලුකර දැමූ බවක් හැඟුනත් වල්බූතයක් ඇතුලේ නිදිමතෙන් දැනුන දෙයක් මනස්ගාතයක් ලෙස නොසලකා හැරීමට පුලුවන්ය.

---------

මේ ගැන බිරිඳගෙන් ඇසීම සදාචාරයට පටහැනි වුවත්, මගේ හිතේ පැටලිල්ල ලිහා ගැනීමට මේ ගැන බිරිඳගෙන් ඇසීමට තීරණය කලෙමි. ඊයේ රාත්‍රියේ බිරිඳ ඇඳට පැමිණි විට මම ලැජ්ජවෙන් ඇඹරි ඇඹරී මෙසේ ඇසුවෙමි. "ෆයිනල් එක දවසේ රෑ මං ඔයාගේ ඕනෙ නැති තැනක් ඇල්ලුවද..?". එහි ඇති අසබ්ය බව අඩු කිරීමට මම තව කැල්ලක් එකතු කලෙමි... "නිකං හීනෙං වගේ?". බිරිඳ මා දෙස දත්මිටිකමින් බලාසිටි ආකාරය දුටු විට මට හිතුනේ නලිං මහත්තයා මාර්ගයෙන් කෙලින්ම මේ ගැන දෙයියන්ගෙන්ම ඇහුවා නම් ඉවරයි කියාය. "පයිනල්.... මගුල පයිනල්... උලව් ක්‍රිකට් රෙද්දක් පටන් ගත්ත දවසේ ඉඳල බැලුවද තමන්ට ගෑනියෙක් ඉන්නවද කියලා... පිට්ටනියේ මිනිස්සුත් ගෙදර ගියාම තමා තමුසේ ටී.වී එක වහලා ඇඳට එන්නේ... ඒ ඇවිල්ලත් නිකං එක දවසකට ආවද මා ලඟට... මැච් නැති දවසටත් තමුසේ කොම්පියුටරේ බදාගෙන කුරුටු ගගා හිටියා මිසක් ආවද නිකමට වත් මා ලඟට. එනවා මෙතන හීනෙං ඇල්ලුවද අහන්න... හීනෙං තමා අල්ලන්න ඇත්තේ... මොකද පහුගිය මාසෙට නම් තමුසෙට මං ඉන්නවද කියලා වගේ වගක් තිබ්බේ නෑ... දැං ඔය මගුල ඉවරවෙලා දවස් කීයක්ද... මොනාද කාපු රිලවා වගේ තමුසේ තාම ඉන්නේ හරියට.... එන්න එපා මා ලඟට එහෙම... ගිහින් බුදියගන්නවා තමුසෙගෙ මහ ලොකු මහේල හරි සංගා හරි එක්ක..."

නාථ දෙවියෝ කියූ පරිදිම, උන්නාන්සේ මට ද ඇර ඇති බව එක් වරටම සිතුනත්... බිරිඳ ලබා දුන් සාක්කි මත, මා ඇගේ ඕනෑ නැති තැනක් තියා ඕනෙම තැන්වත් පහුගිය මාසයටම අල්ලා නැතිබව සාධාරණ සැකයකින් තොරවම ඔප්පුවෙන්නේය. එසේ නම් නාථ දෙවියෝ පැමිණ නැත.... ඒ මගේ හිතේ ඇඳුණු වල් බූතයක් පමණක් විය යුතුයි. එක අතකින්, මහාචාර්ය පට්ටමක් තියා, ඕ ලෙවල් විද්‍යාව දෙපාරක්ම පේල් වූ මට නාථ දෙවියෝ කතාකලා යැයි සිතීමත් විහිළුවකි. එසේම උන්නාන්සේට මේ විජාතික ක්‍රීඩාවක් වෙන ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් තිබෙන්නටත් බැරිය. එසේ නම් ෆයිනල් එක පැරද්දුවේ නාථ දෙවියන් වෙන්නට බැරිය. ඉතිං, බුද්ධිමත් පුරවැසියෙකු ලෙස දැන් මා හට ඉතිරිව තිබෙන්නේ ආච්චිගේ මතය හරි බව පිළිගැනීම නොවේද?

Wednesday, October 3, 2012

කිසිදාක නොවෙනස්ව....



අපි අපිට මුණ ගැහී
ආදරෙයි කියාගත්
දසවසක මතක පොත
කට පාඩම්ය මට

"කිසිදාක නොවෙනස්ව
ඔයා ලඟ හිඳින්නම්"
කියා නුඹ කියූ විට
දැනුනෙ සතුටක්ය මට

දසවසක් පුරාවට
නුඹ රැක්ක පොරොන්දුව
කඩ කරල දමන්නට
බැරිද පොඩි වෙනසකට

දසවසක් පුරාවෙම
නුඹේ ඔය ගොළුබවට
වචන දෙන්නට හැදුව
මටත් අද වචන නැත

හැමදාම නිහඬවම
හිතේ මොනවද තියන්
නොදොඩාම ඉන්න හැටි
කොහොම ඉවසන්න මම

දස වසක් ගත වෙලත්
නුඹ කවුදැයි කියල
නොදන්නා බව තවම
කියන්නත් දුකයි මට

කේන්තිය පුපුරලා
මං බැණවදිනකොට
කඳුලු වැල් වක්කරං
අඬපංකො ඩිංගකට

මග තොටේ යනෙනකොට
අන් ගැහැණු ලුහුබඳින
සලෙල නෙත් දෙකට මගෙ
රවපංකො ඉඳල හිට

මොන තරම් වැඩ කලත්
අඩුපාඩුම කියන
මගෙ කට වැහෙන්නට
බැනපංකො අනේ මට

හුරතලෙන් වඩාගෙන
ඇඳ මත්තෙ පෙරලගෙන
ඉන්නකොට ආදරෙයි
කියපංකො කණට කර

නොතේරෙන කාලෙ නුඹ
නොතේරෙන කමට දුන්
මළඉලව් පොරොන්දුව
කඩපංකො දවසකට