Wednesday, October 24, 2012

මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි...

පුදන කොටම මම කිව්වනෙ, මගේ බ්ලොග් එක ලියනවට වඩා අනිත් අයගේ බ්ලොග් වල කරක් ගහන එකට මම කැමතියි කියලා. මේ වෙනකොට මම රැකියාව කරන තැනින් පැය දෙකක් මට වෙන්කරල දීලා තියෙන්නේ බ්ලොග් කියවන්නයි, කොමෙන්ට් කරන්නයි. අඹ ගහ යට සින්ඩියෙන් තමයි මම බ්ලොග් වලට යන්නෙ එන්නේ... ඉතින් කාට හරි මං ලව්වා බ්ලොග් එකක් කියවගන්න ඕනෙ නං එතනට තමයි දාන්න ඕනේ... මේ වෙනකොට මම නොවරදවා යන බ්ලොග් කීපයක් තියනවා...  එව්වා මම නම් කොරන්න යන්නේ නෑ, මොකද කොහෙද යන හාල් කෑල්ලක් ඇවිත් මෙහෙම කියනකොට ඒක ඒ බ්ලොග් ලියන පිරිසට අගෞරවයක් වෙන්න පුළුවන් නිසා. හරියට නිකං රෝසි ලෝක විවාහක රූ රැජින වෙලා ආවට පස්සේ ගමේ අවුරුදු කුමාරි තරඟෙන් දිනුවා කියන්නා වගේ.

හැබැයි එකෙක්ගේ නම නම් කියන්නම වෙනවා... මාරයා කියන එකාගේ යන්තමින් පේන මූණ මම මතක තියාගෙන ඉන්නේ මගදි දැක්කොත් අල්ලගෙන නෙලන්න. ඌ කොමෙන්ට් වලට තන්කුයි කියන්නේවත් නැහැ... එහෙම බැහැනේ නේද මං අහන්නේ. ඌ ලියන්නයි, අපි කියවන්නයි, යකෝ ඌටම ගිය ලෝකෙ එහෙනං.... ඌට තේරෙන්නෙ නැද්ද මන්දා දාන හැම කොමෙන්ට් එකකටම අඩුම ගානේ තන්කුයි කිව්වහම උගේ කොමෙන්ට් ගාණ දෙගුණ වෙනවා කියලා... සමහර විට අපි වගේ නවක හාල් කෑලි ඔලට ඕක වැදගත් උනාට මාරයා වගේ ප්‍රවීන උන්ට ඕවයෙ ගාණක් නැතුවැති.... හරියට ඔය.. ප්‍රසංග වලට යන්නේ නැති ප්‍රබුද්ධ ගායක ගායිකාවෝ ඉන්නේ...

පහුගිය දවස් වල මම ඔය බ්ලොග් අයියලගේ අක්කලගේ පරණ පෝස්ට් පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉස්ටඩි කොලා... මොකද අපි වගේ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස ප්‍රවීනයන්ගෙන් ඉගෙන ගන්න එපායැ. හප්පා, මේ කපේදි නිම කොරන්න බැරි වියායාමයක් ඒක... ඒ මදිවට හැම එකකින්ම තව පෝස්ට් වලට ලින්ක්, මාතලන්ගේ 18+ පෝස්ට් එකකින් පටන්ගත්තහම, නවතින්නේ සූටි නංගි කෙනෙක් කඳුලු වක්කර වක්කර ලිව්ව පෝස්ට් එකකින්... එතනින් නවතින්නේ වෙන ලින්ක් නැතුවට නෙමෙයි මටත් ඇඬිලා, නෝනා ඇවිත් මට කතන්දරයක් කියලා ඇඳට එක්කන් යන නිසා.

ලංකාවෙ උසස් අධ්‍යාපනේට 6% හම්බවෙච්ච දවසක, විශ්වවිද්‍යාල වල විෂයක් පටන් ගන්න ඕනේ බ්ලොග් ගැන අධ්‍යයනය කරන්න... ඒ තරම් දැනුං කන්දරාවක්, අත්දැකීම් කන්දරාවක් බ්ලොග් ඇතුලේ තියෙන්නේ... කොමෙන්ට් අධ්‍යයනය කරන එක වෙනම විෂයක් විදියට... මේ හේතුව නිසාවත් සියලුම බ්ලොග්කරුවන්ගේ සහාය මේ අරගලයට ලැබෙන්න ඕනේ... හුටා.... අරගලය දැන් ඉවරයිලු, උණු උණු නිව්ස් එක ආච්චීගෙන්. ලංකාවේ මෑත කාලෙදි ඇති වූ වැදගත්ම සමාජ අරගලය කියලා කියන්නලු... වෙන කවුද ආච්චිම තමයි.

බ්ලොග් එකක් අයිති බ්ලොග්කරුවෙක් විදිහට, මට දැන් ගමේ ලා පිළිගැනීමක් තියනවා කියලා කියන්නේ නිහතමානීව... නිහතමානීකම දන්නෙ නැත්නම් රටපුරාම තියෙන මහින්ද මහත්තයගේ පෝස්ටර් බලලා ඉගෙනගන්න... ඉතින් මම උදේට එක එක්කෙනාට කඩේ යනකොට, හම්බවෙන උදවිය මෙහෙම කියනවා...

"මල්ලියේ.. ලියහංකෝ අපේ ෆොන්සේකා මහත්තයා ගැන"

 "කොලුවෝ, ලියාපංකෝ බුද්ධාගම ගැන"

 "තිසර මල්ලී, අනේ ලියන්නකෝ හොලිවුඩ් නළුවෝ ගැන, ඔයත් ටිකක් අර මැරිච්ච මයිකල් ක්ලාක් ඩන්කන් වගේ"

"කවුද මල්ලී අර කොමුපිළි ගැන ලිව්වේ, අනේ එයා හරී එඩියුකේටඩ් කෙනෙක් වගේ"

"අයියේ, ඔයා ලියන්න 'ආදරයේ විරහ වේදනාව නොහොත් පූජාගේ ගේ කෲර අත්හැරයාම' කියලා ලිපියක්, මම දෙන්නම් විස්තර"

"යකෝ, ලියපංකෝ කවියක් දෙකක්"

"තිසර අයියේ... ඉහි ඉහි, අ.. අනේ... ඉහි ඉහි.. මගේ කඳුලු වලට... ඉහි ඉහි...හූ හූ.. නැද්ද ඔයාගේ බ්ලොග් එකේවත් ඉඩක්... ඉහි හූ හූ... "

"හු**, තොගේ පාණ්ඩිත්‍ය එක එකාට පෙන්නන්න යන්නේ නැතුව, වරෙන් වෙලා තියන වෙලාවක සෙට් වෙන්න"

"තිසා... ලස්සන සින්දුවක් ගැන ලියන්නකෝ... අර 'හිමි නැති පෙමකට' වගේ"

මම ඔය හැමෝටම හිනාවෙලා මොනවා හරි හිත හැදෙන්න කියලා මාරු වෙනවා. හැබැ‍යි සමහර වෙලාවට නම් මම තදින් ඉන්නවා, මටත් කියලා ප්‍රතිපත්තියක්, වෘත්තීමය ගරුත්වයක් කියලා එකක් තියනවනේ. ඉතිං බ්ලොග්කරුවෙක් වීම නිසා මට පැවරෙන සමාජ වගකීම බ්ලොග්කරුවන් වෙන ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනයැ... හැමෝම ඉෂ්ඨ කොරන්නේ ඒ සමාජ වගකීම නොවැ...

ඉතිං අතිමහත් වූ මාගේ සහෝදර බ්ලොග්කරුවෙනි, මම මෙසේ කියමි.... මම ලියමි... තොපලාගේ බ්ලොග් වලට පැමිණ ලියමි... නිරතුරු ලියමි... හම යන තුරු ලියමි...  ඉඳහිට මාගේ බ්ලොගයේද මොනවා හෝ ලියමි.

44 comments:

  1. හම යන තුරු ලියන ලියුම් කෙරුම් බලන්න අපිත් හම ගහගෙන හරි එනවා ඉතින් වෙලාවක් කලාවක් තිබුන වෙලාවට. අඩේ උඹේ ගමේ එවුනුත් දන්නවද බං උඹ බ්ලොගක් ලියනවා කියලා. අපේ ගමේ එවුන් එකෙක්වත් දන්නේ නෑ බං. කොටින්ම කියනවනම් එක බඩ වල කඩාගෙන ආව අපේ මලයාවත් දන්නේ නෑ මම බ්ලොගක් ලියනවද කියලා. හැබැයි අපේ අම්ම නම් දන්නවා "ඉන්ටර්නෙට්" එකට ලියනවා කියලා. ඒ මදැයි...

    ReplyDelete
    Replies
    1. මචං මගේ හැම වැඩකටම මම සමීක්ෂණ ආයතන, ප්‍රචාරක ආයතන පාවිච්චි කරනවා. මගේ පලවෙනි පෝස්ට් එකත් ලිව්වේ එහෙමනේ.. ප්‍රචාරේ නැතුව මොනවා කලත් වැඩක් ඇතැයි? ගමේ උදවිය දන්නවා උනාට අපේ ගෙදර උන්ද දන්නේ නෑ තාම.. :D

      Delete
  2. මගෙත් හිතවත්ම කීප දෙනෙක් ඇරුනම ගොඩක් අය දන්නේ නෑ බොග කියන්නේ මොනවද කියලවත්. ඒ උනාට ගොන්පීටර් අතේ අරගෙන යන අය..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ගොඩේ හිටියේ මෑතක් වනතුරු.... ඒ උනාට රස්සාවත් ගොන්පීටර් එක්ක තමා... මාතලන්ගේ බොග නම් ගමේ හිතවත් අයට පෙන්නන්න පුලුවන් එකක්යැ... :D

      Delete
    2. මටත් ඔය සැන්තැසියම තමා බං , ගමේ උන් , නෑදැයෝ , යාළුවෝ දන්නැ මම බ්ලොගක් කොටනවා කියලා.

      දන්න ගස්බල්ලොත් බලන් නැ .

      බලන උන් කමෙන්ට් කරන් නැ.

      මේ ඒක නෙමෙයි උම කොටන ඉට්ටයිල් රක පට්ට රහයි . අඩුම තරමේ මාසෙකට එකක් දෙකක් වත් කොටහං අපිට බලන්ඩ

      Delete
  3. ඔයාගෙ බාසාවට මම හරි ආසයි ...හික්ස් වෙනස් ඒකයි..

    ඉඳහිට නොවේ දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. තැන්කූ.... හ්ම්ම්ම්... දිගටම ඉඳහිට ලියන්න තමා හිතන් ඉන්නේ...

      Delete
  4. යකෝ තරහ කර ගන්නවනම් තරහ කර ගනිං අපි වගේ එකෙක්. මාරයා තරහ කොරගන්නවා කියන්නේ වසල හමාරයි. ඇයි බං ඌ 'මාරය' නේ.

    උඹට අහල පහල වුන්ගෙන් ඔය සන්තෑසිය වුනාට මටනම් එහෙම වෙන්න නෑ. ඇයි අපේ පැත්ත වැඩිපුරම ප්‍රසිද්ධ ලංකාවේ වැඩිම 'බ්ලොග්' ගල් හදන පැත්ත විදිහටනේ. කොටින්ම මේ කොටන කොටත් අල්ලපු ගෙදර බ්ලොග් ගල් මැෂිමේ සද්දේ ඇහෙනවා. (බලපං අපි කොච්චර දියුණද මැෂිමෙන් බ්ලොග් ගහන්නේ)

    ඔය බොලාට හැදිල තියන කමෙන්ටේරියා රෝගය මටත් මුල ඉදලම තියෙනවා. කොටිනම් බ්ලොගක කොටන ඕනම කමෙන්ට් කට්ටක් මගේ බ්ලොගේ දිගම පෝස්ට් එකට වඩා ඩිංගක් දිගයි.

    ඔය ලෙඩ හැදිච්ච තව ප්‍රසිද්ධ එකෙක් ඉන්නවා. දන්නවද අර ප්‍රහාරය දෙන සුමිත් භයියා. ඌටත්, උඹට මට වගේම පෝස්ට් එකක් ලියන්න නෝ ටයිම්. ඒත් කමෙන්ට් රජා. රජා කිව්වහම මතක් වුනේ අර රජා මල්ලිගෙනම් පෝස්ට් වගෙම කමෙන්ටුත් කොටයි. ඌ විතරයි වික්ටර් මාමගේ 'අපි ඔක්කොම රජවරු තියරි එක' පිළිගන්නේ ඒකනේ හැමෝටම 'රාජ සම්පත් ලැබේවා!' කියන්නේ.

    උඹ කකාගේ බ්ලොග පැත්තේ යනකොටනම් ඔෆීසියෙන් නිවාඩුවක් දාලම පලයං. මොකෝ තියන ලිංක් එක්ක උඹට ඔක්කොම පෝස්ට් බලලම ඉන්න වෙනවා.

    මොන මගුලක් බැලුවත් වැඩක් නෑ උඹ අද අටමගේ පහුරට නැග්ගේ නැත්නම්.

    ඔය බලහං. මගේ මේ කමෙන්ට් එකත් අන්තිම පෝස්ටුවට වඩා දිගයිනෙ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටේරියා රෝගේ උඹටත් තියන බව පේනවා... හැබැයි අර ප්‍රභා මාමගේ සතිදෙකේ තියරියවත් අනුගමනය කරපං, නැත්තන් හැලිලා යයි....

      කකාගේ එක ඔපීසියේ දුවන්නේ නෑ බං... උගේ ලින්ක් හැටහුටාමාරක් තියන නිසාද දන්නේ නෑ...

      ඒක නෙමෙයි මෙහෙම බ්ලොග් රැකමොන් කරන එකනම් පංකාදුයි... සිරාවටම ඔය එක එක සින්ඩි ගැනයි, බ්ලොග් ගැනයි දැනගත්තේ උඹලා වගේ එවුන්දාන පෝස්ට් / කොමෙන්ට්ස් වලින්.... පරණ උන් දන්නවා ඇති, අපි දන්නේ නෑනේ... උඹ රැකමොන් කරපු ඒවට ගිහින් බලන්න ඕනේ...

      උඹත් උඹේ එකෙ අන්තිම කොමෙන්ට් ටිකට 'මාර' සැලකිලි දීලා තියෙන්නේ... අනිත් එවුන්ගේ ඒවගේ රවුං ගහන ගමන්, තමන්ගේ එකටත් රිංගපන් ඉඳලා හිටලා... අඩුම ගානේ ඒක තාම තියනවද කියලවත් බලන්න...

      Delete
  5. හී හී හ්ම්ම් හ්ම්ම්..ලියමු දිගටම! :)

    ReplyDelete
    Replies
    1. අනාගත ගීත කෝකිලාවියක් කියද්දි කොහොමෙයි බෑ කියන්නේ.. :D

      Delete
    2. :) :) හි හි

      Delete
  6. අම්මට උඩු..මං කපෝති වගේ.. :D

    අනේ තිසරයෝ ඔව්වා ඒ හැටි ගණන් ගන්ට කාරි නැතිවා... ඔන්න ඔය මූණත් තහඩුව අමතක කොරලා දාහං.. මෙන්න බොට තැන්කූ කිව්වා...

    ආයේ එකක් මොකටද.. ආ තව තැන්කූ එකක්..කව මදිනං කියහං මයෙ අම්මා.. මං තව ටිකක් කොපි පේස්ට්වත් කොරලා දාන්ට...
    :D :D :D

    මාත් බ්ලොග් එක ලියනවටයි ඒකේ කොමෙන්ට්වලට උත්තර බඳිනවටයි වඩා කැමති අනිත් උන්ගේ බ්ලොග් කියෝලා කමෙන්ට් කරන්න බං.. ඒත් සමහර එව්වා කියෝලා අහවර වෙනකොට හිතට එන ඒවා එතන කිව්වොත් උඹලා මයේ මූණත් තහඩුව මතක තියං බලං ඉන්නේ නැතිව හොයං එනවා.. අම්මපා ඒ බයටමයි මං වැඩි සද්ද නොකර ඉන්නේ... ආයේ මොටද මේ නළු මූණ නිකං නාළු කර කරගන්නේ නේද..?

    විහිළු කොලේ ගණන් ගන්ට එපා... අර උඹ කිව්වත් වගේ දවසක් දා එකෙක් මට කිව්වානේ හැම එකාගෙම බ්ලොග් වල කොමෙන්ට් වලින් බාගයක් උගේමයි කියලා... මං එයින් පස්සේ එක පාර දහ දෙනෙකුට විතර එක කොමෙන්ට් එකෙන් උත්තර දෙන්ටත් තියා ගත්තා.. එයින් පස්සේ තමා අර බ්ලොගර් අයියා එකක් ගානේ උත්තර බඳින්ට පහසුකොම දුන්නේ.. එයින් පස්සේ තමා ඔය මගේ උත්තර බැඳිල්ල ටිකක් හරි අඩු උනේ.. දැන්නං ඉතිං ඇත්තටම වෙන වෙන වැඩ හින්දා ඉස්සර තරං උත්තර බැදෙන්නේ නැහැ.. ඒත් කියවන අයට කියවන්න මොනවා හරි කුරුටු ගාලා දෙන හින්දවත් කේන්ති නොගෙන හිටහං අඩා...

    ReplyDelete
    Replies
    1. නළු මූණ.........?????

      හි හි....

      අපායේ කැලැන්ඩරේ හැමපාරම තියෙන්නේ ඔය මූණනේ ඉතිං නේද.... අපි නළු මූණ කියමු.... හි හි...

      Delete
    2. ඔන්න බලපං මගේ මාකටිං ට්‍රික්ස්... අඩේ ඇත්තට මේවා මෙහෙම කියන්නේ නැතුව පොතක් ගහලා සල්ලි වට විකුනලා ඒ සල්ලිවලින් බොන්න ඕනේ හරිනම්. කොහොම හරි මාරයා ගෙන්න ගත්තනේ මගේ බ්ලොග් එකට...

      ඒක නෙමෙයි බං උඹේ බ්ලොග් එක නිතර කියවනවා.. ඇයි ඉතින් දවස ගානේ අප්ඩේට් වෙනවනේ... හිරු මේ ලඟදි උඹ කොමෙන්ට් දාන්නේ නැති එක ගැන ආඩපාලි කියලා තියන එකයි ඒකට උඹේ උත්තරෙයි දැක්කා... මට හිතුනා නිකං ඒකෙන් ආතල් එකක් ගන්න... කොහොමත් මම දන්නේ ඒ වගේ ආතල් තමයි... ගිය සැරේ හිරුගේ පෝස්ට් එකකින් ආතල් ගත්තා...

      ඉතිං කමක් නෑ උඹ ලියපංකෝ... උඹේ ලියවිල්ල හරිම රහයි... අපි දාන්නම්කෝ කොමෙන්ට් උඹටත් එක්ක...

      Delete
  7. තිසර ලියන විදියට හිනා යනවා... හි හි...

    මෙයා බ්ලොග් එකක් ලියනවා කියලා ගමේ පෝස්ටරයක් වත් ගහලද කොහෙද.... හි හි...

    හැම එකාටම කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙලාවක් නෑ කියලා ඔය මාරයියා නිදහසට කරුණක් දීලා තියෙන්නේ.. ඒවා හරියයි අපිත් එක්ක.. හි හි...

    මං නං ඉතිං ඔය එක සින්ඩියක් වත් නෑ නේ... අර රතූ නම් පස්සෙන් ඇවිල්ලා මාව එයාගේ සින්ඩියට දාගත්තා... එච්චර තමා... මං නං ඔහේ අහුවෙන හැම එකම කියෝගෙන යනවා... හැම එකම ‌ෆලෝ කරන නිසා රීඩරේ තියෙන කං ඔක්කෝම කියෝනවා... බරසාර වැඩිනං ෂේප් එකේ මාරු වෙලා යනවා... හි හි...

    පේට්‍රියට් කිව්වා වගේ කකාව බලන්න යනවා අඩු ගානේ පැය බාගයක්වත් තියාගෙන යන්න ඕනේ.. ලින්ක් දිගේ යන්න.. හි හි....

    ReplyDelete
    Replies
    1. මේ කාලේ වාතයක් ඇරියත් සද්දෙන් අරින්න ඕනේ කියලා වැඩ කරන තැන එකෙක් කිව්වා... හොඳ හෝ නරක සද්දෙට කරන එකාටනෙ දැන් තැන... මේ අර අඹ ගහ යටට ආව නම් හොඳයි නේද? හරිම ලේසියි එකේ රෙජිස්ටර් වෙන්න. පොඩි ෆෝම් කැල්ලක් පුරවන්න තියනවා එච්චරයි.

      මොකද්ද හැබෑට ඔය රීඩරේ කියන්නේ? දැනුවත් කොරන්නකො...

      මම කිව්වේ.. කකාගේ පිටුව දිගාරින්න බෑ... මොනදෝ ස්ක්‍රිප්ට් වගයක් දුවනවලු.... ඉඳලා හිටලා ඇරෙනවා.. ඒත් වැඩිය එහෙමෙහෙ යන්න බෑ. පෙට්ටි කඩේක, ටීවී ෆ්‍රිජ් විකුනන්න ගියාම ඔහොම වෙනවා.. ගෙදරින් වත් ට්‍රයි එකක් දෙන්න ඕනේ...

      Delete
    2. Google reader එක.... ඔක්කොම URL ටික add කරගන්න පුළුවන්... අළුත් පෝස්ට් අප්ඩේට් වෙනවා.... ඔච්චර තමයි.. හි හි...

      වැඩිය ඔය ගැන දන්නෙ නැත... දන්න කට්ටිය ඇති නොවැ මේ හරියේ.. ඔන්න කියලා දෙන්නකෝ මෙයාට....

      Delete
  8. උඹලා ඉතින් ලියනවායෑ අපිට හරියකට කියවන්න :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං.. අපිව හදන්න බෑ.. රාජ සම්පත් ලැබුනාමවත් බලමුකෝ..

      Delete
  9. අර ඉඳහිටහො උබ ලියන ඒවා .. අන්න ඒවා බලන්නත් කට්ටිය ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි එහෙනං.... ඇත්තටම බං එහෙම ඇහෙනකොට පොඩ්ඩක් පිම්බෙනවා වගේ...

      Delete
  10. ලියහං මචං ලියහං........තාම බ්ලොග් වාරණයක් හරියට පටං ගත්තෙ නෑ නෙව.එතකංවත් ලියපං..........

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වාරණය කොරයිද බං? කියන්න බෑ මේ යන විදිහට... ලියල කනවද... කාලම ඉන්නවද කියලා බැලුවේ..

      Delete
  11. උඹ බ්ලොග් ලියන්න අළුත් උනාට බ්ලොග් කාලා වතුර බීපු පුතයෙක් කියලයි මටනම් හිතෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඕක වෙන්නෙ මෙහෙමනේ.... කන්නේ බොන්නේ වෙන නමකින්නේ... ඔය මොකද්ද ඇනෝ වගේ නමක් ඒක... ඒක දා ගත්තහම කන බොන එක සිම්පල්... බඩපුරෝදාල ඉන්නකොට හෑල්ලු කරගන්න තමයි මේ පැත්තේ එන්නේ...

      Delete
  12. මම නම් තිසරගෙ කමෙන්ට් අනිත් බ්ලොග් වල තියෙනවා දැකලා නිකමට කෙ‍ටුවා ප්‍රොෆයිල් එක උඩ. මම සාමාන්‍යයෙන් එහෙම කරනවා. එහෙම හිහිල්ලත් හුඳක් අලුත් බ්ලොග් අඳුනාගෙන තියෙනවා. හරියට නිදන් හොයනවා වාගෙ. ඉඳහිට නෙවෙයි තවනිතර නිතර ලිව්වා නම් හොඳයි කියලා හිතෙනවා පරන පෝස්ට් කීපය කියෙව්වාම.

    තව එකක්.

    මම සාමාන්‍යයෙන් අනිත් උන්ගෙ බ්ලොග් වලට යන්නෙ සින්ඩි වලින් වත් රීඩර් එකකින් වත් නෙවෙයි. ඒ මම, හරි. මම යන්නෙම මගෙ හරි අනිත් අයගෙ හරි බ්ලොග් රෝල් වලට කොටලයි. ඒ හැර කවුරු හරි අලුතෙන් මගෙ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් දාලා තියෙනවා දැක්කොත් ඒ ඔස්සෙ ගිහින් බලනවා. ඇත්තෙන්ම මට එහෙම හම්බවෙච්ච හරීම ලස්සන බ්ලොග්ස් මගෙ බ්ලොග් රෝලෙ තියෙනවා.

    ජයවේවා!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අනිත් එවුන්ගේ බ්ලොග් වල රවුම් ගගහ ඉඳල ගෙදර ආවහම තව කොමෙන්ට් ඇවිල්ලනේ.... ඔව් ඇත්තටම ඩූඩ් කියන විදිහට තමයි මම මුලින්ම බ්ලොග් වලට ගියේ.... ඒත් ඒවට ආයෙත් යන්න විදිහක් මම දැනගෙන හිටියේ නෑ... මම ඒ වෙනකොට බලන්න පුරුදු වෙලා හිටිය ගොඩක් බ්ලොග් අඹගහයට සින්ඩියේ තිබ්බා... මේ රීඩර් එක ගැන ඊයෙ පෙරේදා ඉගෙන ගත්තේ... ඩූඩ් ගේ හිච්හයිකර් මම කියෙව්වා.. පොඩි ප්‍රශ්නයක් අහලත් ආවෙ... ඒකට උත්තරෙත් තිබ්බා.. ඒත් ඩූඩ්ගෙ බ්ලොග් එකට ගියාම හිර වෙනවා... එක එක ස්ක්‍රිප්ට් දුවනවා කියලා වෝර්නින්ග් එනවා. මම කිව්ව වගේ වැඩ කරන අතරෙ තමයි මම වැඩියෙන්ම බ්ලොග් බලන්නේ :ඪ්... ඉතින් ආවහම මම ඒවා වහලා දානවා... රස්සාවට කෙල උනොත් කියලා..

      පරිවර්තනය කියන්නේ මගෙත් ප්‍රියතම විෂයක්.... තාම ඉගෙන ගන්නවා.. පරිවර්තනයි, මුල් කෘතියයි දෙකම කියවන්න මම කැමතියි... සමහර අදහස් පරිවර්ථනය කරලා තියන හැටි ඉගෙන ගන්න.... ගාමිණී වියන්ගොඩ මම ගොඩක් කැමති පරිවර්තකයෙක්... දැදිගම වී. රුද්‍රිගූ ගේ රුසියන් පරිවර්තන වලටත් කැමතියි.

      Delete
  13. ෂහ් උඹ මරු ලියන්නෙක්. අපි එනව‍. දිගටම ලියපං

    ReplyDelete
    Replies
    1. තන්කූ මචං... උඹේ නවාතැනත් මට හුරුපුරුදු තැනක්...

      Delete
  14. ෂෙහ්... මටත් තියෙන ලොකුම කරදරේ තමයි ගමේ කඩ පිලට ගියත් හම්බවෙන එක එක්කෙනා ඔය එක එක ජාතියෙ විචාර බ්ලොගේ ලියහං කියන එක. ඇයි යකෝ තනි මිනිහෙක් කෝමද ඔච්චර ලියන්නෙ කියල මුං හිතන්නෑනෙ. :)
    -------------------
    කමෙන්ට් වලට උත්තර කතාවෙනං මෙහෙම දේකුත් තියෙනවා. මම නං කියවන්න කැමති කමෙන්ට් 70 ක් තියෙන එකකට වඩා 35 ක් තියෙන එකක්. ඒක පහසුයි. පැහැදිලියි. මගෙ පුද්ගලික අදහස පමණි.

    ReplyDelete
    Replies
    1. චාමි දැක්කහම යමක් නොකියා බැහැ. චාමිගෙ බ්ලොග් එකෙන් තමයි මම බ්ලොග් ගැන ඉගෙනගන්න පටන් ගත්තේ... මුරගල කියලා මගේ ජාල මිතුරෙකුත් සම්බන්ධවෙලා හිටිය බ්ලොග් එකක් තමයි මුලින්ම බැලුවෙ.. ඒත් ඒක දැන් අතැරලා දාලා වගේ... කොහොමෙන් හරි උඹේ බ්ලොග තමයි ඊට පස්සෙ දිගටම බැලුවේ, අදහස් වල පොඩි සමාන කමක් තියන බව දැනුන නිසයි, කොමෙන්ට් තීරුව මාර ෆන් බව දැනුන නිසයි මම නිතර ආවා... කොමෙන්ට් දාන අනිත් එවුන්ගේ තැන් වලටත් ගියා... පුංචි මොලයට වැටහුනා මටත් එකක් දා ගන්න පුලුවන් කියලා. 2011 මුල ඉඳලා උඹේ ලිපි හැම එකක්ම වගේ කියවලා ගොඩක් ඒවට කොමෙන්ටුත් දාලයි ගියේ... හැබැයි එතකොට මම ඇනෝ... වෙන විදිහක් දැනන් හිටියේ නෑ.

      "ලිපියෙන් නොකී දෑ හෙළි වන්නේ ඔබේ අදහස් හරහා ගොඩ නැගෙන සංවාදයෙනි"

      උඹ දැකලා ඇතිනේ පේට්‍රියට් ගේ බ්ලොගේ කොමෙන්ට් බොක්ස් එක උඩින් තියන මේ වාක්‍යය. උඹේ බ්ලොගය සම්බන්දෙනුත් මේක ගොඩක් ඇත්ත කියලා මට හිතෙන්නෙ... එහෙම සංවාද ඇතිවෙන තැනක නම් කොමෙන්ට් කීයක් තිබ්බත් අවුලක් නැහැ.

      මම වචන දෙකෙන් තුනෙන් ලියන කොමෙන්ට් වලට නම් රිප්ලයි බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඒත් ඊට වඩා යමක් ලිව්වොත් ඒකට රිප්ලයි එකක් ලැබෙනවා නම් කැමැත්තක් තියනවා... කොහොම උනත්, අපිව acknowledged වෙනවට අපි පොඩ්ඩක් කැමතියිනේ.

      ගමේ කරදරේ නම් කියලා වැඩක් නෑ... හොර පොට් එකකට ගිහින් පොඩි අඩියක්වත් ගහන්න බෑ බං, අහන්නේ බ්ලොග් එක ගැන.... :D

      Delete
  15. හිතන්න ඕන.මම අලුත්නේ
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඇවිත් බලන්නම්කෝඅ මොනවද ඔච්චර හිතන්නේ කියලා... මාත් අලුත් තමයි.

      Delete
  16. ඔයාටම ආවේනික ක්‍රමයක් හරිම ලස්සනයි කියවගෙන යන්නත් ලේසියි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. කියවන්න ලේසි නම් එච්චරයි..... එන්නම්කෝ සමකය වටේ යන්න...

      Delete
  17. මේක සිරා බ්ලොග් එකක් වෙයි වගේ.. ඉස්සරහට සුපිරි ආතල් එකක් බලාපොරොත්තුවෙන් ඔන්න පස්සෙනුත් පැන්නුවා

    ReplyDelete
    Replies
    1. සුපිරි ආතල් නේද.... හ්ම්ම්ම්... දෙන්න බලන්නම්... පැන්නුවට ස්තූතියි.

      Delete
  18. තන්කූ කිව්වා...

    ReplyDelete
  19. සෑම අවස්ථාවේදීම හැඟීම් වලට ප්‍රවේශ නොවී බුද්ධිමය ප්‍රවේශයක් ‍වෙනුවෙන් ලිපි එක් කරන්න. යතාර්තය සෟන්දර්යාත්මකව පාඪකයාගේ මනසේ ප්‍රකෘත්තිමත් කරන්න. බොහෝ විට අපි උඩුගම්බලා පිහිනීමක් විය හැකියි. එබැවින් ලිපියේ ගුණාත්මක බව රැදෙනුයේ කොමන්ට් වලට අනුලෝමව යැයි සිතන්න එපා. එය ඉතා සරල නිර්ණායකයක් පමණයි. ජනප්‍රිය සංස්කෘතිය සෑම බොහෝ අවස්තාවල අවම සමාජ මෙහෙවරකි කරනුයේ. සමහර විට පරිහානියට ද හේතු වෙනවා.
    “ඉගෙන ගනිමු - ලෝකය දැන ගැනීමට නොව, ලෝකය වෙනස් කිරීමට“
    - කාල්මාක්ස්.

    ReplyDelete
  20. ස්තූතියි නිර්මලා.... සිහියේ තබාගන්නම්...

    ReplyDelete